'ස්වාමීනී මට මතකයක් නෑ': ආරක්ෂක ලේකම් ධූරය දැරූ සමයේ සිදුවූ අතුරුදන් වීම් ගැන ගෝඨාභය අධිකරණයට කී කරුණු
තමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ සිදුවූ බව කියන පුද්ගල පැහැරගෙන යාම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධ චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවත් ඒවා මුළුමනින් ම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රටේ නම විනාශ කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (සැප්තැම්බර් 29 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවීම සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය. 2011 වසරේ දෙසැම්බර් මස 10 වැනිදා සමාජ ක්‍රියාකාරිකයින් වන ලලිත් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවකට අදාලව "සූම්" ඔස්සේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි දෙමින් ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා සිටියේ ය.
