8 sourcesUpdated
2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත්ට
පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය 'නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිකර ගැනීමට සමත් විය. පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) මගින් සංවිධානය කරනු ලබන "වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රී" ඇගයීම් යටතේ පැවැත්වෙන මෙම සම්මානය සඳහා ගරු සුගත් වසන්ත ද සිල්වා මහතාව නාමයෝජනා කරන ලද්දේ මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනමේ (IFES) ශ්‍රී ලංකා ශාඛාව විසිනි. 2026 ජූලි 08 වන දින ලන්ඩන් නුවර පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත මෙම නාම යෝජනාව ඉදිරිපත් කර තිබිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දෘෂ්‍යාබාධිතභාවයක් සහිත ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු අනුකාරක සභාවේ (Parliamentary Caucus for Persons with Disabilities) සභාපතිවරයා ලෙස පත්වෙමින් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම්, සංඥා භාෂා පිළිගැනීම, ප්‍රවේශ්‍යතා ප්‍රමිතීන් සහ ව්‍යවස්ථාපිත සංශෝධන උදෙසා කැපී පෙනෙන නායකත්වයක් ලබා දී ඇත. විශේෂයෙන්ම, 2026 ජාතික අයවැය යටතේ ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් වෙන්වූ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යාංශ 25කට ආසන්න සංඛ්‍යාවක් සමඟ සමාලෝචන පවත්වමින් රාජ්‍ය යාන්ත්‍රණයේ වගවීම තහවුරු කිරීමට එතුමා කටයුතු කළේය. ඊට අමතරව කිලිනොච්චිය, මුලතිව්, මඩකලපුව සහ කළුතර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් බිම් මට්ටමේ මහජන සාකච්ඡා පවත්වමින් ආබාධ සහිත ප්‍රජාව මුහුණ දෙන අභියෝග හඳුනා ගැනීමටත්, කම්කරු හා සෞඛ්‍ය යන අමාත්‍යාංශ සමඟ එක්ව නිලධාරීන් සියයකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් ප්‍රතිපත්තිමය නීති රාමු සකස් කිරීමටත් එතුමා මුලපිරීය. තවද, ප්‍රවේශ්‍යතා විගණන (accessibility audits) සිදු කළ හැකි තරුණ හා ආබාධ සහිත ප්‍රජා නියෝජිතයින්ගෙන් සැදුම්ලත් පුහුණු කණ්ඩායමක් ජාතික මට්ටමින් ගොඩනැගීමට ද එතුමාගේ නායකත්වය හිමි විය. අම්බලන්ගොඩ කන්දෙගොඩ කනිටු විදුහලෙන් සහ වතුගෙදර සිරි අබේතිස්ස කනිටු විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඒ මහතා, දෘෂ්‍යාබාධිත වීමෙන් පසු රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත්ව බ්‍රේල් අකුරු ඇතුළු විශේෂ අධ්‍යාපනය ලැබීය. අනතුරුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරූ එතුමා, කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉතිහාසය පිළිබඳ විශේෂවේදී උපාධිය පළමු පෙළ ගෞරව සාමාර්ථයක් සහිතව ලබා ගැනීමට සමත් විය. කෙටි කාලයක් තුළ මහජන නියෝජනය සහ පාර්ලිමේන්තු නායකත්වය ප්‍රායෝගික රාජ්‍ය පාලන ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමට එතුමා දැක්වූ කුසලතාව මෙම සම්මානය හරහා ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත. 2026 සැප්තැම්බර් මස 17 වන දින දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පැවැත්වුණු 69 වන පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයේදී (69th Commonwealth Parliamentary Conference) මෙම සම්මානය එතුමා වෙත නිල වශයෙන් පිරිනමන ලදී.
Full coverage
Lanka Truthමන්ත්‍රී සුගත් වසන්තට පොදු රාජ්‍ය මණ්ඩලයේදී සම්මානයට පාත්‍රවෙයි…
News.lkපොදුරාජ්‍ය මණ්ඩලීය '2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා හිමිකර ගනී

Dasatha Lanka Newsමාලිමා මන්ත්‍රී සුගත් වසන්තට පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයක්

News First - සිංහල2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත්ට

Hiru News - Sinhalaපොදුරාජ්‍ය මණ්ඩලීය 2026 නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය සුගත් වසන්ත ද සිල්වාට හිමි වෙයි

ITN Newsමන්ත්‍රී සුගත් වසන්තට පොදු රඳ මඩලු සම්මානයක්

ලංකාදීපමන්ත්රී සුගත් වසන්තට පොදු රඳ මඩලු සම්මානයක්

අද දෙරණපොදුරාජ්ය මණ්ඩලීය '2026 වසරේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' සුගත් වසන්ත ද සිල්වාට

Summary
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය `නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිව තිබේ. 2026 ජූලි 08 වන දින ලන්ඩන් නුවර පිහිටි CPA මූලස්ථාන ලේකම් කාර්යාලය වෙත මෙම නාම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.